ක්ලැස්ප්ඩ් තම්බ්
(Clasped Thumb)

ක්ලැස්ප්ඩ් තම්බ් යනු කුමක්ද?

ක්ලැස්ප්ඩ් තම්බ් යනු දරුවෙකුගේ මහපටැඟිල්ලේ සාමාන්‍ය පෙනුම සහ චලනයන් අඩාල වන රෝගී තත්ත්වයකි.

මෙම තත්ත්වයට හේතුව කුමක්ද?

මහපටැඟිල්ල නැවීමට සහ කෙළින් කිරීමට උපකාරී වන ව්‍යුහයන් කණ්ඩරා (Tendons) ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය සහිත දරුවන්ගේ මහපටැඟිල්ල කෙළින් කිරීමට උපකාරී වන කණ්ඩරා නිසි ලෙස වර්ධනය වී නොමැත.

රෝග ලක්ෂණ මොනවාද?

බොහෝ විට බිළිඳුන් මුල් මාස 3-4 තුළ තම මහපටැඟිල්ල අල්ල තුළට තද කරගෙන සිටින බැවින් මෙම තත්ත්වය හඳුනා ගැනීම ප්‍රමාද විය හැක. දරුවාට තම මහපටැඟිල්ල කෙළින් කිරීමට අපහසු වන අතර එය නිතරම අල්ල තුළම පවතී. මෙහි බරපතලකම අනුව වර්ග තුනකි:

1 වන වර්ගය : මහපටැඟිල්ලේ සන්ධි ලිහිල්ව පවතී. කණ්ඩරා වල ගැටළු නිසා මහපටැඟිල්ල එසවීමට අපහසු වේ.

2 වන වර්ගය : 1 වන වර්ගයේ ලක්ෂණ සමඟ සන්ධි වල බන්ධනී (Ligaments) සහ අල්ලේ මාංශ පේශි වලද ගැටළු පවතී.

3 වන වර්ගය : අනෙකුත් උපත් ආබාධ සමඟ සම්බන්ධව පවතී (උදා : ආත්‍රොග්‍රිපොසිස්).

ප්‍රතිකාර කරන්නේ කෙසේද?

1 වන වර්ගය සඳහා, මහපටැඟිල්ල නිවැරදි ඉරියව්වක තබා ගැනීම සඳහා ස්ප්ලින්ට් (Splinting) කිරීම ඉතා සාර්ථක වේ. උපතින් මාස 12 ක් ඇතුළත ස්ප්ලින්ට් කිරීම ආරම්භ කරන දරුවන්ගෙන් 70% කට පමණ හොඳ ප්‍රතිඵල ලැබෙන බව පර්යේෂණ පෙන්වා දෙයි. එබැවින් මෙම තත්ත්වය ඉක්මනින් හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

ස්ප්ලින්ට් කිරීමෙන් සහනයක් නොලැබෙන දරුවන්ට හෝ වයස අවුරුදු 2 ට වඩා වැඩි දරුවන්ට ශල්‍යකර්මයක් නිර්දේශ කළ හැකිය. ශල්‍යකර්මය සඳහා සුදුසු කාලය දරුවාගේ වයස සහ ආබාධයේ ස්වභාවය අනුව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ.

< මහපටැඟිල්ල දෙබල වීම සින්ඩැක්ටිලි (Syndactyly) >