අතේ ගැන්ග්ලියන් ගෙඩි
(Ganglion Cysts)

ගැන්ග්ලියන් ගෙඩියක් යනු කුමක්ද?

ගැන්ග්ලියන් ගෙඩි යනු ජෙල් වැනි දියරයක් පිරුණු මෘදු ගැටිති වේ. මේවායේ ප්‍රමාණය කලින් කලට වෙනස් විය හැක. මේවා අතේ සහ මැණික් කටුවෙහි ඇතිවන බහුලම ඉදිමීම් වර්ගය වන අතර සාමාන්‍යයෙන් හානිකර නොවේ.

මේවා ඇතිවීමට හේතු

සන්ධියකින් හෝ කණ්ඩරාවක කොපුවකින් දියර වර්ගයක් කාන්දු වී සම යට එකතු වීමෙන් මෙම ගෙඩි හට ගනී. මීට නිශ්චිත හේතුවක් නොදන්නා අතර අනතුරක් හෝ ආතරයිටිස් වැනි තත්ත්වයක් මෙයට බලපෑ හැක.

වර්ග

  • මැණික් කටුව පිටුපස (Dorsal wrist ganglion): තරුණ වැඩිහිටියන් අතර බහුල වන අතර ප්‍රතිකාර රහිතවම සුව විය හැක.
  • මැණික් කටුව ඉදිරිපස (Volar wrist ganglion): තරුණ අයට මෙන්ම ආතරයිටිස් පවතින වයස්ගත පුද්ගලයන්ට ද ඇතිවිය හැක.
  • ඇඟිල්ලේ මුල (Flexor tendon sheath): කණ්ඩරා ආශ්‍රිතව ඇති වේ.
  • ඇඟිල්ල මත (Mucoid cyst): මැදිවියේ හෝ වයස්ගත පුද්ගලයන් අතර බහුල වේ.

රෝග ලක්ෂණ

බොහෝ විට කිසිදු වේදනාවක් නොමැතිව ඉදිමීමක් පමණක් දැකිය හැක. නමුත් ඇතැම් විට වේදනාව සහ සන්ධිය චලනය කිරීමට අපහසු වීම වැනි ලක්ෂණ මතු විය හැක.

රෝග විනිශ්චය සහ ප්‍රතිකාර

වෛද්‍යවරයෙකු විසින් අත පරීක්ෂා කිරීමෙන් මෙය හඳුනාගත හැක. අවශ්‍ය වුවහොත් ස්කෑන් (Ultrasound scan) පරීක්ෂණයක් සිදු කරනු ලැබේ. මෙම ගෙඩි වලින් 50% ක් පමණ ප්‍රතිකාර රහිතවම තනිවම සුව වේ. එබැවින් වේදනාවක් නොමැති නම් මුලින්ම නිරීක්ෂණය කිරීම ප්‍රමාණවත්ය.

මාස 6 කට වඩා වැඩි කාලයක් පවතී නම්, වේදනාව හෝ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වේ නම් සැත්කමක් මගින් ඉවත් කිරීම ගැන සලකා බැලිය හැක. කෙසේ වෙතත්, සැත්කමකින් පසුව වුවද 10% - 30% ක ප්‍රවණතාවක් නැවත ඇතිවීමට පවතී.

< එන්කොන්ඩ්‍රෝමා අස්ථි වල GCT ගෙඩි >