ග්ලෝමස් ගෙඩි
(Glomus Tumors)

ග්ලෝමස් ගෙඩි යනු කුමක්ද?

ග්ලෝමස් ගෙඩියක් යනු දුර්ලභ, හානිකර නොවන (Benign), මෘදු පටක ආශ්‍රිතව ඇතිවන ගෙඩි වර්ගයකි. ග්ලෝමස් පද්ධතිය (Glomus apparatus) යනු සමේ උෂ්ණත්වය පාලනය කිරීමට උපකාරී වන කොටසකි. ශරීරයේ ඕනෑම තැනක තිබිය හැකි වුවත්, මේවා ඇඟිලි වල සහ පතුලේ ඇඟිලි වල වැඩි වශයෙන් දක්නට ලැබේ.

වැළඳීමේ ප්‍රවණතාව

ග්ලෝමස් ගෙඩි සාමාන්‍යයෙන් වයස අවුරුදු 20 සිට 50 දක්වා පුද්ගලයන් අතර දක්නට ලැබෙන අතර, තරුණ වැඩිහිටියන් අතර බහුල වේ. කාන්තාවන් අතර මෙය වැඩිපුර දක්නට ලැබෙන අතර, 70% ක්ම ඇතිවන්නේ අතේ, විශේෂයෙන්ම නියපොත්තට යටින් ඇති ප්‍රදේශයේය.

රෝග ලක්ෂණ

නියපොත්තට යටින් ඇතිවන කුඩා, තද රතු හෝ නිල් පැහැති ගැටයක් ලෙස මෙය හඳුනාගත හැක. මේවා සාමාන්‍යයෙන් ඉතා කුඩා (මිලිමීටර් 7 ට වඩා අඩු) වේ. මෙම ගෙඩි ඉතා වේදනාකාරී වන අතර, උෂ්ණත්වය වෙනස් වන විට (විශේෂයෙන් සීතලට) සහ ස්පර්ශ කරන විට අධික වේදනාවක් දැනේ.

රෝග විනිශ්චය සහ ප්‍රතිකාර

නිවැරදි රෝග විනිශ්චය සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහාය අවශ්‍ය වේ. MRI පරීක්ෂණය මේ සඳහා භාවිතා කරන ප්‍රධාන පරීක්ෂණයයි. එකම ප්‍රතිකාර ක්‍රමය වන්නේ සැත්කමක් මගින් ගෙඩිය ඉවත් කිරීමයි. සැත්කමෙන් පසු වේදනාව වහාම සමනය වන අතර, මාස 3-4 ක් ඇතුළත නියපොත්ත නැවත සාමාන්‍ය පරිදි වර්ධනය වේ.

< අස්ථි වල GCT ගෙඩි ඔස්ටියොයිඩ් ඔස්ටියෝමා >