මහපටැඟිල්ලේ වැදගත් බන්ධනී (Ligaments) මොනවාද?
බන්ධනී යනු අස්ථි එකිනෙකට සම්බන්ධ කරන ශක්තිමත් පටක පටි වේ. මහපටැඟිල්ලේ බහුලවම තුවාල සිදුවන බන්ධනී පිහිටා ඇත්තේ එහි පාදම සන්ධිය (MCP joint) අවටය.
මහපටැඟිල්ලේ MCP සන්ධිය සතුව වැදගත් බන්ධනී දෙකක් ඇත: Ulnar collateral ligament (UCL) සහ Radial collateral ligament (RCL). මින් UCL තුවාල වීම RCL තුවාල වීමට වඩා 10 ගුණයකින් වැඩිය. මහපටැඟිල්ලේ ක්‍රියාකාරිත්වය සඳහා මෙම බන්ධනී දෙකම ඉතා වැදගත් වේ.
බන්ධනී තුවාල වන්නේ කෙසේද?
බන්ධනී තුවාල බොහෝ විට සිදුවන්නේ හදිසි ඇද වැටීමකදී මහපටැඟිල්ල බිම වැදී මුළු ශරීර බරම ඒ මතට වැටීම නිසාය. බලපෑම සිදුවන ආකාරය අනුව RCL හෝ UCL තුවාල විය හැක. උග්‍ර UCL තුවාල "Skier's thumb" ලෙසත්, නිදන්ගත (කාලීන) UCL තුවාල "Game keeper's thumb" ලෙසත් හැඳින්වේ.
රෝග විනිශ්චය
වෛද්‍යවරයා විසින් කරනු ලබන සායනික පරීක්ෂණයක් මගින් තුවාලය හඳුනාගත හැක. මහපටැඟිල්ලේ X-ray පරීක්ෂණයක් සහ සන්ධියේ Ultrasound පරීක්ෂණයක් මගින් රෝග විනිශ්චය තහවුරු කරගත හැක.
මෙම තුවාල සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?
අර්ධ වශයෙන් සිදුවන තුවාල සහ අස්ථි කොටසක් ද සමඟ සිදුවන ඇතැම් තුවාල සති 4-6 ක් ප්ලාස්ටර් (Plaster) යෙදීමෙන් සාර්ථකව සුව කළ හැක. ප්ලාස්ටර් මගින් සුව කළ නොහැකි සම්පූර්ණ බන්ධනී තුවාල සඳහා සැත්කම් අවශ්‍ය වේ. නිදන්ගත තුවාල සඳහා බොහෝ විට වෙනත් ස්ථානයකින් ලබාගන්නා කණ්ඩරාවක් (Tendon graft) මගින් බන්ධනිය නැවත සැකසීමට සිදු වේ.
සුවය ලැබීමට කොපමණ කාලයක් ගතවේද?
ඔබේ අත මාසයක් පමණ ප්ලාස්ටර් එකක් මගින් ආරක්ෂා කරනු ලැබේ. ප්ලාස්ටර් එක ඉවත් කිරීමෙන් සහ X-ray පරීක්ෂණයකින් පසු භෞත චිකිත්සාව (Hand therapy) ආරම්භ කරනු ලැබේ. මහපටැඟිල්ලේ චලනයන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තවත් මාසයක් පමණ ගත විය හැක. සැත්කමෙන් මාස 3 කට පසුව පමණක් මහපටැඟිල්ල තදින් භාවිතා කරන කාර්යයන් සඳහා අවසර ලැබේ.