ඇඟිලි සන්ධි පැනීම යනු කුමක්ද?
සන්ධියක් පැනීම යනු අස්ථි දෙකක් මුණගැසෙන සන්ධියක් එහි සාමාන්‍ය පිහිටීමෙන් ඉවතට ලිස්සා යාමයි. ඇඟිල්ලක සන්ධි වර්ග තුනක් ඇත: MCP සන්ධිය, PIP සන්ධිය සහ DIP සන්ධිය.
ඇඟිලි සන්ධි පැනීම මෙම මට්ටම් තුනේදීම සිදුවිය හැක: MCP සන්ධිය (Kaplan's dislocations ලෙස හැඳින්වේ), PIP සන්ධිය සහ DIP සන්ධිය.
රෝග විනිශ්චය
රෝග විනිශ්චය තහවුරු කර ගැනීමට ඔබේ වෛද්‍යවරයා X-ray පරීක්ෂණයක් නිර්දේශ කරනු ඇත. අස්ථි බිඳීම් සහිත සන්ධි පැනීම් වලදී වැඩිදුර විස්තර ලබා ගැනීමට කලාතුරකින් CT පරීක්ෂණයක් අවශ්‍ය විය හැක.
ප්‍රතිකාර
PIP සහ DIP සන්ධි පැනීම්
මෙවැනි තුවාල බොහොමයක් සැත්කමකින් තොරව සාර්ථකව කළමනාකරණය කළ හැක. බොහෝ විට සායනයේදීම (Outpatient clinic) ප්‍රාදේශීය නිර්වින්දනය (Local anaesthesia) ලබා දී සන්ධිය නැවත පිහිටුවා ස්ප්ලින්ට් (Splint) එකක් මගින් ස්ථාවර කරනු ලැබේ.
MCP සන්ධි පැනීම්
මේවා සරල හෝ සංකීර්ණ විය හැක. සරල පැනීම් සායනයේදීම නිර්වින්දනය ලබා දී නැවත පිහිටුවිය හැක. නමුත් සංකීර්ණ පැනීම් එසේ නැවත පිහිටුවීම අපහසුය. නිර්වින්දනය යටතේ නැවත පිහිටුවීමට උත්සාහ කර, එය සාර්ථක වුවහොත් ඇඟිල්ල ස්ප්ලින්ට් එකක් මගින් ස්ථාවර කරයි. එය අසාර්ථක වුවහොත්, සන්ධිය නැවත පිහිටුවීම සඳහා සැත්කමක් අවශ්‍ය වේ.
PIP අස්ථි බිඳීම් සහිත සන්ධි පැනීම්
මේවා බහුලව දක්නට ලැබෙන තුවාල වේ. මේවා ස්ථාවර හෝ අස්ථාවර විය හැක. ස්ථාවර තුවාල සායනයේදීම නිර්වින්දනය යටතේ නැවත පිහිටුවිය හැකි නමුත් අස්ථාවර තුවාල සඳහා සැත්කම් අවශ්‍ය වේ.
සිදු කරනු ලබන සැත්කම් වර්ග:
- Extension block pinning
- Dynamic skeletal traction (උදා: Suzuki frame, Zimmer splint)
- Open reduction and screw/plate fixation
- Volar plate arthroplasty
- Hemihamate arthroplasty