මධ්‍ය ස්නායු තුවාල

මධ්‍ය ස්නායුව යනු කුමක්ද?

මිනිස් අතට සුෂුම්නාවෙන් ප්‍රධාන ස්නායු තුනක් සැපයේ; එනම් මධ්‍ය (Median), උල්නර් (Ulnar) සහ රේඩියල් (Radial) ස්නායු වේ. මධ්‍ය ස්නායුව යනු අතෙහි වැදගත් කොටස්වලට සංවේදනය ලබා දෙන ප්‍රධානතම ස්නායුවයි. එමෙන්ම එය පෙරබාහුවේ සහ ඇඟිලිවල මාංශ පේශිවලට ස්නායු සැපයුම ලබා දෙමින් මැණික් කටුව, මහපටැඟිල්ල සහ අනෙකුත් ඇඟිලි සෙලවීමට (උදා: යමක් තදින් ඇල්ලීමට) උපකාරී වේ.

මධ්‍ය ස්නායුව තුවාල වන්නේ කෙසේද?

ස්නායුව මතට එල්ල වන සෘජු පහරක්, ස්නායුව තෙරපීමකට ලක්වීම හෝ කැපුම් තුවාල නිසා මධ්‍ය ස්නායුවට හානි සිදුවිය හැක. හදිසි අනතුරු නිසා පෙරබාහුවෙහි සිදුවන කැපුම් තුවාල වලදී මෙම ස්නායුවට හානි සිදුවීම බහුලව දක්නට ලැබේ.

ස්නායුවට හානි වී ඇති බව දැනගන්නේ කෙසේද?

මධ්‍ය ස්නායුව මගින් මහපටැඟිල්ල, දබරැඟිල්ල, මැදඟිල්ල සහ වෙදැඟිල්ලෙන් අඩකට සංවේදනය ලබා දෙයි. හානියක් සිදු වූ විට මෙම ඇඟිලි හිරිවැටීමක් ඔබට දැනිය හැක. එමෙන්ම මහපටැඟිල්ලේ ශක්තිය අඩු වී ඇති බව ද ඔබට නිරීක්ෂණය විය හැක.

ප්‍රතිකාර

ප්‍රතිකාර කිරීම තුවාලය සිදු වූ ආකාරය මත රඳා පවතී. අලුතින් සිදු වූ කැපුම් තුවාල වලදී මධ්‍ය ස්නායුව බොහෝ විට අලුත්වැඩියා කරනු ලැබේ. පැරණි තුවාල සඳහා ස්නායු බද්ධ කිරීම් (Nerve grafts) අවශ්‍ය විය හැක. කල්ගත වූ තුවාල සඳහා දුරස්ථ ස්නායු මාරු කිරීම් (Distal nerve transfers) හෝ කණ්ඩරා මාරු කිරීම් (Tendon transfers) අවශ්‍ය විය හැක.

< කණ්ඩරා මාරු කිරීම් රේඩියල් ස්නායු තුවාල >