රේඩියල් ලොන්ගිටියුඩිනල් ඩෙෆිෂියන්සි
(Radial Longitudinal Deficiency)

රේඩියල් ලොන්ගිටියුඩිනල් ඩෙෆිෂියන්සි යනු කුමක්ද?

රේඩියල් ලොන්ගිටියුඩිනල් ඩෙෆිෂියන්සි (RLD) යනු "Radial club hand" ලෙසද හැඳින්වේ. අපගේ බාහුවේ අස්ථි දෙකක් පවතී; එනම් රේඩියස් (Radius) සහ උල්නා (Ulna) ය. මහපටැඟිල්ල දෙසින් ඇති අස්ථිය රේඩියස් වන අතර කුඩා ඇඟිල්ල දෙසින් ඇති අස්ථිය උල්නා වේ.

මෙය බාහුවේ ඇති රේඩියස් අස්ථිය නිසි ලෙස වර්ධනය නොවන දුර්ලභ උපත් ආබාධයකි. මෙහිදී දරුවාගේ අත බාහුවේ මහපටැඟිල්ල දෙසට වක්‍රව පිහිටන අතර අතේ චලනයන් සීමා විය හැක. මීට අමතරව, දරුවාගේ මහපටැඟිල්ල ඉතා කුඩා වීම හෝ මහපටැඟිල්ල නොමැති වීමද සිදුවිය හැක.

මෙය ඇතිවීමට හේතු මොනවාද?

ගර්භණී සමයේදී දරුවාගේ අත් වර්ධනය වන්නේ සති හතරත් අටත් අතර කාලයේදීය. ඇතැම් පාරිසරික සාධක (ආසාදන, ඇතැම් ඖෂධ) හෝ ජානමය හේතූන් නිසා මෙම අස්ථි නිසි ලෙස වර්ධනය නොවිය හැක. මෙය පවුලේ සාමාජිකයන් අතර දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

සම්බන්ධ විය හැකි අනෙකුත් සෞඛ්‍ය ගැටළු

දරුවාගේ අත් පා වර්ධනය වන කාලයේදීම හෘදය, බඩවැල්, රුධිර සෛල සහ වකුගඩු වැනි ඉන්ද්‍රියන්ද වර්ධනය වේ. එබැවින් මෙම රෝගී තත්ත්වය සහිත දරුවන්ගේ අනෙකුත් ඉන්ද්‍රියන් වලද යම් ආබාධ පවතිනවාද යන්න පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වේ.

ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ප්‍රතිකාර කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ දරුවාට අතින් වැඩ කිරීමට ඇති හැකියාව (Function) සහ අතේ පෙනුම (Appearance) වැඩි දියුණු කිරීමයි. ප්‍රතිකාර ක්‍රම අතරට:

  • දිගු කිරීමේ ව්‍යායාම (Stretching)
  • ස්ප්ලින්ට් (Splinting) පැළඳීම
  • ශාරීරික චිකිත්සාව (Physical therapy)
  • අවශ්‍ය නම් කෘතිම අත් පා (Prosthetics) භාවිතය
  • ශල්‍යකර්ම

සාමාන්‍යයෙන් ශල්‍යකර්ම සිදු කරනු ලබන්නේ දරුවා පාසල් වයසට පැමිණීමට පෙරය. සැත්කමකින් පසු පූර්ණ සුවය ලැබීමට මාස තුනක් පමණ ගත විය හැක.

< උල්නර් ලොන්ගිටියුඩිනල් ඩෙෆිෂියන්සි මැඩලුන්ග්ගේ විකෘතිය >