අතේ ඇතිවන චර්ම ගෙඩි
(Skin Tumors)

අතේ විවිධ වර්ගයේ ගෙඩි (Tumours) ඇතිවිය හැක. මේවා ශරීරයේ වෙනත් ස්ථානවල ඇතිවන සාමාන්‍ය චර්ම පිළිකා වල සිට අතේ පමණක් ඇතිවන විශේෂිත ගෙඩි දක්වා විහිදේ.

අතේ බහුලවම දක්නට ලැබෙන පිළිකාමය චර්ම ගෙඩිය වන්නේ Squamous cell carcinoma ය. මෙය බොහෝ විට අත් පිටුපස සහ බාහුව ප්‍රදේශයේ ඇති වේ. මෙවැනි අවස්ථාවලදී අදාළ කොටස ඉවත් කර පටක බද්ධ කිරීමක් (Soft tissue coverage) සිදු කරනු ලැබේ.

Basal cell carcinoma යනු අතේ දක්නට ලැබෙන දෙවන බහුලම චර්ම ගෙඩියයි.

Pyogenic Granuloma (පයෝජනික් ග්‍රැනියුලෝමා)

මෙය සම මත කුඩා රුධිර වාහිනී විශාල සංඛ්‍යාවක් එකතු වීමෙන් ඇතිවන හානිකර නොවන (Benign) ගෙඩියකි. මෙහි පිළිකා අවදානමක් නොමැති අතර මෙය ආසාදනයක් හෝ වෙනත් අයෙකුට බෝවන රෝගයක් නොවේ.

මෙය ඇතිවීමට හේතු

මීට නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගෙන නොමැත. ඇතැම් විට සමේ ඇතිවන සුළු තුවාලයක්, කපනයක් හෝ කටු ඇනීමක් වැනි දෙයකින් පසු මෙය ඇතිවිය හැක. මෙය ඕනෑම වයසකදී ඇතිවිය හැකි වුවත් ළමුන් සහ තරුණ වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබේ. ගර්භණී සමයේදී ද මෙය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.

රෝග ලක්ෂණ

මෙය රතු පැහැති, වේගයෙන් වර්ධනය වන ලම්පයක් (Lump) ලෙස හඳුනාගත හැක. මෙය සති කිහිපයක් හෝ මාස කිහිපයක් ඇතුළත වර්ධනය වී පසුව ස්ථාවර වේ. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 1 කට වඩා විශාල නොවේ. වේගයෙන් වර්ධනය වීම සහ රුධිරය වහනය වීම නිසා බොහෝ දෙනා මෙය පිළිකාවක් යැයි බිය වුවද මෙය පිළිකාවක් නොවේ. කෙසේ වෙතත්, වේගයෙන් වර්ධනය වන ඕනෑම ගෙඩියක් වෛද්‍යවරයෙකුට පෙන්වීම අත්‍යවශ්‍ය වේ.

රෝග විනිශ්චය සහ ප්‍රතිකාර

බොහෝ විට මෙහි පෙනුමෙන් මෙය හඳුනාගත හැක. අවශ්‍ය වුවහොත් වෛද්‍යවරයා විසින් මෙය ඉවත් කර පරීක්ෂණ (Laboratory analysis) සඳහා යොමු කරනු ලැබේ. පයෝජනික් ග්‍රැනියුලෝමා ඉවත් කිරීමෙන් හෝ විශේෂිත ආලේපන (Creams) මගින් සුව කළ හැක.

< අතේ ගෙඩි ලැයිස්තුව අස්ථි ගෙඩි (ABC) >