සිම්බ්‍රැචිඩැක්ටිලි යනු කුමක්ද?
සිම්බ්‍රැචිඩැක්ටිලි යනු අතේ ඇඟිලි වල ඇතිවන විවිධ මට්ටමේ ආබාධ රාශියක් හැඳින්වීමට භාවිතා කරන පදයකි. මෙහිදී ඇඟිලි ඉතා කුඩා වීම හෝ අතෙහි හෝ බාහුවේ කොටසක් නිසි ලෙස වර්ධනය නොවීම සිදුවිය හැක.
මෙයට හේතුව කුමක්ද?
මෙම තත්ත්වය බොහෝ විට අහඹු ලෙස සිදු වේ. ඇතැම් විට මෙය වෙනත් රෝගී තත්ත්වයන්ගේ (සින්ඩ්‍රෝම) කොටසක් ලෙසද පැවතිය හැක. පෝලන්ඩ් සින්ඩ්‍රෝමය (Poland syndrome) මෙයට එක් උදාහරණයකි.
පවතින ප්‍රතිකාර ක්‍රම මොනවාද?
දරුවාගේ අතෙහි ස්වභාවය අනුව මෙය ප්‍රධාන වර්ග හතරකට බෙදිය හැක:
1. සියලුම ඇඟිලි පවතී, නමුත් ඒවා ප්‍රමාණයෙන් කුඩාය - මෙවැනි අවස්ථා වලදී එකිනෙක ඇලී ඇති ඇඟිලි වෙන් කිරීම සහ අවශ්‍ය නම් පයේ ඇඟිල්ලකින් අස්ථි කොටසක් ගෙන බද්ධ කිරීම (Free phalangeal bone transfer) සිදු කරයි.
2. මැද ඇඟිලි (දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල සහ වෙදැඟිල්ල) විවිධ මට්ටමින් කුඩා වී පවතී - තෝරාගත් දරුවන් සඳහා පයේ ඇඟිල්ලක් ගෙන අතට බද්ධ කිරීම (Vascularised toe transfer) ප්‍රයෝජනවත් විය හැක.
3. මහපටැඟිල්ල පමණක් පවතී - අතක් ක්‍රියාකාරී වීමට අවම වශයෙන් මහපටැඟිල්ල සහ තවත් එක් ඇඟිල්ලක්වත් තිබිය යුතුය. මෙහිදී පයේ ඇඟිල්ලක් ආධාරයෙන් නව ඇඟිල්ලක් නිර්මාණය කළ හැකිය.
4. බාහුවේ කොටසක් කෙටි වීම - වැඩුණු දරුවන් සඳහා කෘතිම අත් පා (Prosthesis) භාවිතය ඉතා හොඳ විසඳුමකි.