පොලිඩැක්ටිලි යනු කුමක්ද?
පොලිඩැක්ටිලි යනු අතේ ඇඟිලි පහකට වඩා වැඩි ගණනක් පිහිටා තිබීමේ තත්ත්වයයි.
මෙහි පවතින වර්ග මොනවාද?
අමතර ඇඟිල්ල මහපටැඟිල්ල දෙසින් හෝ කුඩා ඇඟිල්ල දෙසින් (Border polydactyly) පිහිටිය හැකිය. එසේත් නැතිනම් අතේ මැද ඇඟිලි අතර (Central polydactyly) පිහිටිය හැකිය. වෙදැඟිල්ල දෙබල වීම මධ්‍යම පොලිඩැක්ටිලි හි බහුලම අවස්ථාවයි. මැද ඇඟිල්ල සහ දබර ඇඟිල්ල දෙබල වීම එතරම් සුලභ නොවේ. මෙම අමතර ඇඟිල්ල නිසි ලෙස වර්ධනය වූ එකක් හෝ මෘදු පටක වලින් පමණක් සමන්විත එකක් විය හැක.
ප්‍රතිකාර ක්‍රම
මෘදු පටක වලින් පමණක් සමන්විත කුඩා අමතර ඇඟිල්ලක් ශල්‍යකර්මයකින් තොරව ඉවත් කළ හැකිය. නමුත් හොඳින් වර්ධනය වූ අමතර ඇඟිල්ලක් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් අවශ්‍ය වේ. අමතර ඇඟිල්ල ඉවත් කිරීමෙන් පසු, අසල ඇති සාමාන්‍ය ඇඟිලි වල ස්ථාවරත්වය සහ නිසි ක්‍රියාකාරිත්වය සඳහා බන්ධනී (Ligaments) නැවත සකස් කිරීම අවශ්‍ය විය හැක.