මහපටැඟිල්ලේ හයිපොප්ලාසියාව යනු කුමක්ද?
මහපටැඟිල්ලේ හයිපොප්ලාසියාව යනු දරුවෙකුගේ මහපටැඟිල්ල අසාමාන්‍ය ලෙස කුඩා වීම හෝ නිසි ලෙස වර්ධනය නොවීමයි. මහපටැඟිල්ලේ ඇප්ලාසියාව (Thumb aplasia) යනු මහපටැඟිල්ල සම්පූර්ණයෙන්ම නොමැති වීමයි.
පොදුවේ ගත් කල, මෙහි ප්‍රධාන වර්ග පහක් පවතී:
1. මහපටැඟිල්ල සාමාන්‍ය ප්‍රමාණයට වඩා මඳක් කුඩා නමුත් එහි ඇති අස්ථි, කණ්ඩරා, බන්ධනී සහ මාංශ පේශි සාමාන්‍ය පරිදි පවතී.
2. මහපටැඟිල්ල කුඩා වන අතර එහි කණ්ඩරා සහ මාංශ පේශි වල සුළු අසාමාන්‍යතා පවතී.
3. මහපටැඟිල්ලේ මාංශ පේශි රාශියක අසාමාන්‍යතා පවතින අතර සන්ධි වලද ගැටළු පවතී.
4. මහපටැඟිල්ල අස්ථි ආධාරකයකින් තොරව හුදෙක් සම සහ මෘදු පටක මගින් පමණක් අතට සම්බන්ධ වී පවතී ("Floating thumb").
5. මහපටැඟිල්ල සම්පූර්ණයෙන්ම නොමැති වීම.
මෙම තත්ත්වයට හේතුව කුමක්ද?
මෙම තත්ත්වයට නිශ්චිත හේතුව තවමත් සොයාගෙන නොමැත. කලාතුරකින් මෙය වෙනත් සෞඛ්‍ය ගැටළු රාශියක් සහිත සින්ඩ්‍රෝමයක කොටසක් විය හැක (උදා : VACTERL, Fanconi anemia, Holt-Oram syndrome).
මෙය කොතරම් සුලභද?
මෙය ඉතා දුර්ලභ තත්ත්වයක් වන අතර උපදින දරුවන් 100,000 කගෙන් එක් අයෙකුට පමණ මෙය වැළඳිය හැක. ඇතැම් විට අත් දෙකටම මෙහි බලපෑම ඇතිවිය හැක.
දරුවාගේ අනාගතය කෙසේ වේවිද?
මහපටැඟිල්ල නොමැති වුවද දරුවන් ඒ සඳහා හුරු වන අතර අනෙක් ඇඟිලි ආධාරයෙන් වැඩ කිරීමට ඉගෙන ගනී. කෙසේ වෙතත්, කුඩා දේවල් ඇල්ලීම වැනි සියුම් චලනයන් සඳහා ඔවුන්ට අපහසුතා ඇතිවිය හැක. එවැනි දරුවන්ට ශල්‍යකර්මයක් මගින් සහනයක් ලබා දිය හැක.
අපගේ සේවාව
අපගේ අත් සැත්කම් සහ ක්ෂුද්‍ර සැත්කම් ඒකකය (Hand surgery and microsurgery unit) මෙවැනි සංකීර්ණ ගැටළු සඳහා විශේෂඥ පුහුණුවක් ලබා ඇත. ඔබගේ දරුවාට අවශ්‍ය නිවැරදි රෝග විනිශ්චය සහ ප්‍රශස්ත ප්‍රතිකාර ලබා දීමට අප කැපවී සිටිමු.