ඩිස්ටල් රේඩියස් අස්ථි බිඳීම

රේඩියස් අස්ථි බිඳීම යනු කුමක්ද?

අපගේ පෙරබාහුව රේඩියස් (Radius) සහ උල්නා (Ulna) ලෙස අස්ථි දෙකකින් සමන්විත වේ. මැණික් කටුව ආශ්‍රිතව රේඩියස් අස්ථිය බිඳීම ඩිස්ටල් රේඩියස් අස්ථි බිඳීම ලෙස හැඳින්වේ. මෙය මිනිස් සිරුරේ අත් පා වල සිදුවන බහුලවම දක්නට ලැබෙන අස්ථි බිඳීමයි. කෝල්ස් අස්ථි බිඳීම (Colle's fracture), වෝලර් බාර්ටන් අස්ථි බිඳීම (Volar Barton fracture) සහ ස්මිත්ගේ අස්ථි බිඳීම (Smith's fracture) මෙහි විවිධ ආකාර වේ.

මෙම අස්ථි බිඳීම සිදුවන්නේ කෙසේද?

ක්‍රීඩා වල නිරත වීම, රථවාහන අනතුරු හෝ අස්ථි දිරායාමේ (Osteoporosis) රෝගී තත්ත්වයන් ඇති විට මෙවැනි අස්ථි බිඳීම් සිදුවීමට වැඩි ඉඩක් ඇත. බොහෝ විට අත දිගු කර බිම ඇද වැටීමේදී මැණික් කටුවට ලැබෙන දැඩි පීඩනය නිසා මෙම අස්ථි බිඳීම සිදුවේ.

ප්‍රතිකාර

බිඳුණු අස්ථියකට හැකි ඉක්මනින් ප්‍රතිකාර කිරීම ඉතා වැදගත් වේ. එසේ නොමැති වුවහොත් අස්ථි වැරදි ලෙස පෑහීම නිසා ලිවීම හෝ ඇඳුමක බොත්තම් දැමීම වැනි එදිනෙදා වැඩකටයුතු කිරීමේදී අපහසුතා ඇතිවිය හැක. මුල් අවධියේදීම ප්‍රතිකාර කිරීමෙන් වේදනාව සහ මැණික් කටුවෙහි තද ගතිය අවම කරගත හැක.

අස්ථි කොටස් නිසි පරිදි නොමැති නම් වෛද්‍යවරයා විසින් ඒවා නැවත නිසි ලෙස පිහිටුවනු ලැබේ. මෙය අස්ථි කොටස් නැවත පිහිටුවීම (Reduction) ලෙස හැඳින්වේ. වේදනාව සහ ඉදිමීම අනුව මේ සඳහා නිර්වින්දන ඖෂධ භාවිතා කිරීමට සිදුවිය හැක. ප්‍රතිකාරය කුමක් වුවත්, මැණික් කටුව සුව වන තෙක් අනෙක් ඇඟිලි නිතිපතා චලනය කිරීම වැදගත් වේ.

අත නිශ්චලව තැබීම (Immobilization)

අස්ථිය නිසි ලෙස සුව වීම සඳහා එය සෙලවීමට නොදී නිශ්චලව තැබීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා ස්ප්ලින්ට් (Splint) එකක් හෝ ප්ලාස්ටර් (Cast) එකක් යොදනු ලැබේ. වේදනාව සහ ඉදිමීම අඩු කර ගැනීම සඳහා හැකි සෑම විටම අත වැලමිටට වඩා ඉහළින් තබා ගන්නා ලෙස ඔබට උපදෙස් දෙනු ඇත.

ශල්‍යකර්ම සහ වෙනත් ක්‍රියාමාර්ග

ප්ලාස්ටර් එකක් දැමූ පසුව වුවද අස්ථි කොටස් වෙනස් වීමට ඉඩ ඇති බැවින් වෛද්‍යවරයා විසින් X-ray පරීක්ෂණ මගින් එය නිරීක්ෂණය කරනු ඇත. අස්ථි කොටස් වෙනස් වුවහොත් සැත්කමක් අවශ්‍ය විය හැක:

  • Closed reduction and pinning: අස්ථි කොටස් නිසි ලෙස පිහිටුවා ඒවා සුව වන තෙක් කුඩා පින් (Pins) මගින් තාවකාලිකව රඳවා තැබීම. අස්ථිය සුව වූ පසු පින් ඉවත් කරනු ලැබේ.
  • External fixation: අස්ථිය පිටතින් ලෝහමය රාමුවක් මගින් රඳවා තැබීම.
  • Open reduction and internal fixation: සැත්කමක් මගින් අස්ථි ඇතුළතින් පින්, තහඩු (Plates), රොඩ් හෝ ඉස්කුරුප්පු (Screws) යොදා අස්ථිය සුව වන තෙක් රඳවා තැබීම.

ඖෂධ

වේදනාව සහ ඉදිමීම අඩු කිරීම සඳහා වෛද්‍යවරයා විසින් වේදනා නාශක ඖෂධ ලබා දෙනු ඇත. විවෘත අස්ථි බිඳීමක් නම් (හම සිදුරු වී ඇති විට), ආසාදන වැළැක්වීම සඳහා ප්‍රතිජීවක (Antibiotics) ඖෂධ ද ලබා දෙනු ලැබේ.

අත් චිකිත්සාව (Hand therapy)

ප්ලාස්ටර් එක ඉවත් කළ පසු මැණික් කටුවෙහි තද ගතිය අඩු කිරීමට සහ චලනයන් යථා තත්ත්වයට පත් කිරීමට විශේෂ ව්‍යායාම හෝ අත් චිකිත්සාව අවශ්‍ය වේ. සම්පූර්ණ සුවය ලබා ගැනීමට මාස කිහිපයක් ගත විය හැක.

< මැණික් කටුව ආත්‍රොඩෙසිස් මැණික් කටුවෙහි TFCC තුවාල >