රේඩියල් ස්නායුව යනු කුමක්ද?
මිනිස් අතෙහි ක්‍රියාකාරිත්වය සඳහා රේඩියල් (Radial), මධ්‍ය (Median) සහ උල්නර් (Ulnar) ලෙස ස්නායු තුනක් උපකාරී වේ. මෙම ස්නායු සුෂුම්නාවෙන් ආරම්භ වී බාහුව සහ පෙරබාහුව හරහා අත දක්වා ගමන් කරයි.
රේඩියල් ස්නායු තෙරපීම යනු කුමක්ද?
රේඩියල් ස්නායුව අතට ස්නායු සැපයුම ලබා දෙන වැදගත්ම ස්නායුවකි. එය ගමන් කරන මාර්ගයේදී විවිධ ශරීර කොටස් අතර තෙරපීමකට ලක්විය හැක. රේඩියල් ස්නායුව බහුලව තෙරපීමකට ලක්වන්නේ වැලමිට සහ මැණික් කටුව ආශ්‍රිතවයි.
වැලමිට ප්‍රදේශයේදී සිදුවන තෙරපීම පසුපස අන්තර් අස්ථි ස්නායු සින්ඩ්‍රෝමය (Posterior interosseous nerve syndrome) හෝ රේඩියල් ටනල් සින්ඩ්‍රෝමය (Radial tunnel syndrome) ලෙස හැඳින්වේ. මැණික් කටුව ප්‍රදේශයේදී සිදුවන තෙරපීම වෝටන්බර්ග් සින්ඩ්‍රෝමය (Wartenberg syndrome) හෝ කයිරල්ජියා පැරස්තටිකා (Cheiralgia paresthetica) ලෙස හැඳින්වේ.
රෝග විනිශ්චය
රෝගියා පෙන්වන රෝග ලක්ෂණ සහ අතෙහි සිදු කරන සායනික පරීක්ෂණ මගින් මෙම තත්ත්වය හඳුනා ගනු ලැබේ. ස්නායු වල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන විද්‍යුත් රෝග විනිශ්චය පරීක්ෂණ (Electrodiagnostic studies) මගින් මෙය තහවුරු කළ හැක.
ප්‍රතිකාර
බොහෝ අවස්ථාවලදී දෛනික ක්‍රියාකාරකම් වෙනස් කිරීම සහ ස්නායු ලිස්සා යාමේ ව්‍යායාම (Nerve gliding exercises) මගින් සුවයක් ලබාගත හැක. එලෙස සුවයක් නොලැබෙන රෝගීන් සඳහා සැත්කමක් මගින් ස්නායුව මත ඇති පීඩනය ඉවත් කිරීම (Decompression) සිදු කරනු ලැබේ.