තොරැසික් අවුට්ලට් සින්ඩ්‍රෝමය

තොරැසික් අවුට්ලට් සින්ඩ්‍රෝමය (TOS) යනු කුමක්ද?

අතෙහි චලනයන් සහ සංවේදනය සඳහා අවශ්‍ය ස්නායු බෙල්ලේ සිට අත දක්වා ගමන් කරයි. මෙම ස්නායු සමඟම අතට රුධිරය සපයන රුධිර වාහිනී ද ගමන් කරයි. බෙල්ල ප්‍රදේශයේදී මෙම ස්නායු හෝ රුධිර වාහිනී තෙරපීමකට ලක්වීම නිසා අතෙහි වේදනාව, හිරිවැටීම හෝ දුර්වලතාවය ඇතිවිය හැක. මෙම තත්ත්වය තොරැසික් අවුට්ලට් සින්ඩ්‍රෝමය (Thoracic outlet syndrome) ලෙස හැඳින්වේ.

මෙම රෝගයේ විවිධ වර්ග මොනවාද?

ඉහත සඳහන් කළ පරිදි, මෙය රුධිර වාහිනී තෙරපීම නිසා ඇතිවන වාහිනී ආශ්‍රිත (Vascular) වර්ගය හෝ ස්නායු තෙරපීම නිසා ඇතිවන ස්නායු ආශ්‍රිත (Neurogenic) වර්ගය ලෙස කොටස් දෙකකට බෙදිය හැක.

රුධිර වාහිනී හෝ ස්නායු තෙරපීමට හේතු මොනවාද?

අසාමාන්‍ය ලෙස පිහිටි ශරීර කොටස් හෝ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වූ කොටස් නිසා රුධිර වාහිනී තෙරපිය හැක. උදාහරණයක් ලෙස, අමතර ඉලඇටයක් (Cervical rib) පැවතීම, පෙනහළු ආශ්‍රිත පටක බෑන්ඩ් (Pleural band) හෝ අධික ලෙස වර්ධනය වූ මාංශ පේශි නිසා රුධිර වාහිනී තෙරපීම සිදුවිය හැක.

මෙම රෝගය කොතරම් බහුලද?

මෙය ඉතා කලාතුරකින් දක්නට ලැබෙන රෝගයකි. බොහෝ විට වෙනත් රෝගී තත්ත්වයන් නොවන බව තහවුරු කර ගැනීමෙන් පසු (Diagnosis of exclusion) මෙය තීරණය කරනු ලැබේ.

රෝගය හඳුනා ගන්නේ කෙසේද?

රෝගියා පෙන්වන රෝග ලක්ෂණ අනුව මෙම රෝගය පවතින බවට සැක කෙරේ. MRI පරීක්ෂණ, MRI ඇන්ජියෝග්‍රැෆි (MRI angiography) සහ ස්නායු සන්නායකතා පරීක්ෂණ (Nerve conduction studies) වැනි පරීක්ෂණ මගින් රෝගය නිවැරදිව හඳුනා ගත හැක.

ප්‍රතිකාර කරන්නේ කෙසේද?

මද හෝ මධ්‍යම ප්‍රමාණයේ රෝග ලක්ෂණ ඇති රෝගීන් සඳහා දෛනික වැඩකටයුතු වෙනස් කිරීම සහ විශේෂිත ව්‍යායාම මගින් සාර්ථකව ප්‍රතිකාර කළ හැක. දැඩි රෝග ලක්ෂණ පවතින අවස්ථාවලදී සැත්කම් මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

< රේඩියල් ස්නායු තුවාල රේඩියල් ස්නායු තෙරපීම >