රුධිර වාහිනී සහිත ෆිබියුලා බද්ධය
(Vascularised Fibula Graft)

මෙය යනු කුමක්ද?

අපගේ කකුලේ ප්‍රධාන අස්ථි දෙකක් පවතී: ටිබියාව (Tibia) සහ ෆිබියුලාව (Fibula). ටිබියාව ශරීරයේ බර දරා ගැනීමට උපකාරී වන ප්‍රධාන අස්ථියයි. ෆිබියුලාව යනු අමතර අස්ථියක් වන අතර, වෙනත් අස්ථි බිඳුණු විට හෝ ආසාදන නිසා අස්ථි කොටස් අහිමි වූ විට ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට මෙය භාවිතා කළ හැකිය. මෙහිදී ෆිබියුලා අස්ථිය එහි රුධිර වාහිනී ද සමඟ ලබාගෙන අවශ්‍ය ස්ථානයට බද්ධ කරනු ලැබේ.

ක්ෂුද්‍ර සැත්කම් (Microsurgery)

ක්ෂුද්‍ර සැත්කම් යනු ශල්‍ය අන්වීක්ෂයක් ආධාරයෙන් ඉතා කුඩා රුධිර වාහිනී සහ ස්නායු වැනි සියුම් කොටස් සම්බන්ධ කරමින් සිදු කරන සැත්කම් වර්ගයකි. ෆිබියුලා අස්ථිය ලබාගෙන එහි රුධිර වාහිනී අලුත් ස්ථානයේ ඇති රුධිර වාහිනී සමඟ සම්බන්ධ කිරීමෙන් එම අස්ථිය ජීවී අස්ථියක් ලෙස වර්ධනය වීමට ඉඩ සැලසේ.

මෙම සැත්කම සිදු කරන්නේ කවුද?

ක්ෂුද්‍ර සැත්කම් පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ඇති විකලාංග හෝ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් විසින් මෙවැනි සංකීර්ණ සැත්කම් සිදු කරනු ලැබේ.

මෙම සැත්කම අවශ්‍ය වන අවස්ථා

  • අස්ථි බිඳීමක් නිසා විශාල අස්ථි කොටසක් අහිමි වීම.
  • ආසාදනයක් නිසා අස්ථි කොටස් අහිමි වීම.
  • අස්ථියක ශක්තිමත් බව වැඩි කිරීමට අවශ්‍ය වීම.

නිර්වින්දනය

රෝගියාගේ වයස සහ තත්ත්වය අනුව පූර්ණ නිර්වින්දනය (සම්පූර්ණයෙන්ම නිදි කරවීම) හෝ ප්‍රාදේශීය නිර්වින්දනය (අදාළ කොටස පමණක් හිරිවැට්ටීම) සිදු කරනු ලැබේ.

< සම බද්ධ කිරීම ෆ්ලැප් සැත්කම් (Flap Surgery) >