කියුබිටල් ටනල්
සින්ඩ්‍රෝමය

කියුබිටල් ටනල් සින්ඩ්‍රෝමය යනු කුමක්ද?

උල්නර් ස්නායුව (Ulnar nerve) අතේ ක්‍රියාකාරිත්වය සඳහා ඉතා වැදගත් ස්නායුවකි. එය පෙරබාහුවේ සහ අතේ මාංශ පේශිවලට ස්නායු සැපයුම ලබා දෙන අතර සුළැඟිල්ලට සහ වෙදැඟිල්ලට සංවේදනය ද ලබා දෙයි. උල්නර් ස්නායුව බහුලවම තෙරපීමකට ලක්වන්නේ වැලමිට ප්‍රදේශයේදීය. මෙම තෙරපීම නිසා වෙදැඟිල්ල සහ සුළැඟිල්ලේ හිරිවැටීමක්, අතේ දුර්වලතාවයක් සහ අතෙහි වැඩකටයුතු නිසි ලෙස කිරීමට අපහසු වීමක් ඇතිවිය හැක. වැලමිට ප්‍රදේශයේදී සිදුවන මෙම තෙරපීම "කියුබිටල් ටනල් සින්ඩ්‍රෝමය" (Cubital Tunnel Syndrome) ලෙස හැඳින්වේ.

කියුබිටල් ටනල් සින්ඩ්‍රෝමයට හේතු මොනවාද?

වැලමිට නැවත නැවතත් නැමීම, වැලමිට අවට ඇති අස්ථි බිඳීම් හෝ උල්නර් ස්නායුව ස්ථානයෙන් ලිස්සා යාම (Slippage) නිසා ඇතිවන යාන්ත්‍රික තෙරපීම මෙයට බහුලව හේතු වේ.

රෝග විනිශ්චය

මෙය බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් වන අතර ප්‍රධාන වශයෙන් රෝගියා පරීක්ෂා කිරීම මගින් හඳුනා ගනු ලැබේ. EMG සහ NCS වැනි විද්‍යුත් රෝග විනිශ්චය පරීක්ෂණ මගින් රෝගය තහවුරු කිරීමට උපකාරී වේ.

ප්‍රතිකාර

මද රෝග ලක්ෂණ ඇති බොහෝ රෝගීන් සඳහා මාස 2-4 ක ස්ප්ලින්ට් භාවිතය සහ දෛනික ක්‍රියාකාරකම් වෙනස් කිරීම මගින් ප්‍රතිකාර කළ හැක. ඉහත ප්‍රතිකාර වලට සහනයක් නොලැබෙන හෝ දැඩි රෝග ලක්ෂණ ඇති අවස්ථාවලදී සැත්කමක් අවශ්‍ය විය හැක. බහුලවම සිදු කරනු ලබන සැත්කම් ක්‍රියා පටිපාටිය වන්නේ උල්නර් ස්නායුව ඉදිරිපසට ගෙනයාම (Anterior transposition) වේ.

සැත්කමෙන් පසු එක් හෝ දෙදිනක රෝහල්ගත වීමක් අවශ්‍ය විය හැක. ඊළඟ දිනයේ සිට උරහිස් සහ ඇඟිලි ව්‍යායාම ආරම්භ කළ හැක. වැලමිට නිශ්චලව තබා ගැනීමට සති 3 ක ස්ප්ලින්ට් එකක් භාවිතා කරයි. සති 3 කට පසු රෝගියාට දෛනික කටයුතු සඳහා අත භාවිතා කිරීම ආරම්භ කළ හැක.

මැණික් කටුව ප්‍රදේශයේදී උල්නර් ස්නායුව තෙරපීම කලාතුරකින් සිදු වේ. ආශ්‍රිත අස්ථි බිඳීම්, ගැන්ග්ලියන් (Ganglion) වැනි ගෙඩි හෝ රුධිර වාහිනීවල විශාල වීම (Aneurysms) වැනි තත්ත්වයන් මෙයට හේතු වේ. තෙරපීමට හේතු වූ සාධකය ඉවත් කිරීම මගින් රෝගියාගේ රෝග ලක්ෂණ සමනය වේ.

< ප්‍රොනේටර් සින්ඩ්‍රෝමය කාපල් ටනල් සින්ඩ්‍රෝමය >