මෙටාකාපල් (Metacarpals) සහ ඇඟිලි අස්ථි (Phalanges) බිඳීම අත් ආශ්‍රිතව සිදුවන බහුලවම දක්නට ලැබෙන අස්ථි බිඳීම් වේ. අස්ථි බිඳීම සිදුවී ඇති ස්ථානය අනුව ඒවා අස්ථි හිස (Head), ගෙල (Neck), කඳ (Shaft) සහ පාදම (Base) බිඳීම් ලෙස බෙදා දක්වනු ලැබේ. බොහෝ අස්ථි බිඳීම් සැත්කමකින් තොරව සාර්ථකව කළමනාකරණය කළ හැක.
පහත සඳහන් අවස්ථාවලදී සැත්කමක් සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ:
- සාමාන්‍ය පරිදි පිහිටුවිය නොහැකි අස්ථි බිඳීම්
- අස්ථි බිඳීම නිසා ඇඟිල්ල කැරකී (Rotation) තිබීම
- සන්ධි ආශ්‍රිත අස්ථි බිඳීම්
- විවෘත තුවාල සහිත අස්ථි බිඳීම් (Open fractures)
- අස්ථි කොටස් අහිමි වී ඇති අවස්ථා
- අතෙහි බහු අස්ථි බිඳීම් පවතින අවස්ථා
- රුධිර වාහිනී, කණ්ඩරා, ස්නායු හෝ සමට හානි සිදුවී ඇති අවස්ථා
- මහපටැඟිල්ලේ මෙටාකාපල් අස්ථි බිඳීම් (මේවා බොහෝ විට අස්ථාවර වේ. උදා: Bennet's fracture සහ Rolando fracture)
සැත්කම් සඳහා විවිධ වර්ගයේ බද්ධ කරන උපකරණ (Implants) භාවිතා කරනු ලැබේ:
- Kirschner wires (K-wires)
- තහඩු සහ ඉස්කුරුප්පු (Plates and screws)
- ඉස්කුරුප්පු පමණක් (Screws alone)
- බාහිරින් සවි කරන උපකරණ (External fixator - උදා: JESS fixator, UMEX fixator)