ටෙනිස් එල්බෝ තත්ත්වය

ටෙනිස් එල්බෝ තත්ත්වය යනු කුමක්ද?

ටෙනිස් එල්බෝ (Tennis elbow) යනු වැලමිටෙහි පිටත කොටසේ ඇතිවන වේදනාව හෝ තද ගතියයි. මෙය සිදුවන්නේ පෙරබාහුවෙහි මාංශ පේශි වැලමිටට සම්බන්ධ කරන කණ්ඩරා (Tendons) වලට හානි වීමෙනි. මෙම වේදනාව අත දිගේ මැණික් කටුව දක්වා පැතිර යා හැක. නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් යතුරක් කරකැවීම හෝ දොරක් විවෘත කිරීම වැනි සරල වැඩකටයුතු කිරීමේදී පවා වේදනාවක් ඇතිවිය හැක. වෛද්‍යවරුන් මෙම තත්ත්වය ලැටරල් එපිකොන්ඩිලයිටිස් (Lateral epicondylitis) ලෙසද හඳුන්වයි.

ටෙනිස් එල්බෝ තත්ත්වයට හේතු මොනවාද?

බොහෝ විට මෙයට හේතුව වන්නේ අත අධික ලෙස වෙහෙසීමයි (Overuse). අත නැවත නැවතත් කරකැවීම හෝ වෙහෙසකර ක්‍රියාකාරකම් වල නිරත වීම නිසා කණ්ඩරා මත පීඩනයක් ඇති වී ඒවායේ ඉතා කුඩා ඉරීම් (Tiny tears) ඇති වේ. වැලමිටට එල්ල වන සෘජු පහරක් නිසාද කණ්ඩරා වලට හානි සිදුවිය හැක. මෙය ටෙනිස් ක්‍රීඩකයන් අතර බහුල වුවද, වතු වැඩ කිරීම, පින්තාරු කිරීම හෝ ඉස්කුරුප්පු නියන් භාවිතා කිරීම වැනි ක්‍රියාවල නිරත වන ඕනෑම අයෙකුට වැළඳිය හැක. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ගණන් වල පසුවන පුද්ගලයන් අතර මෙය බහුලව දක්නට ලැබේ.

ප්‍රතිකාර කරන්නේ කෙසේද?

ඔබට නිවසේදීම ප්‍රතිකාර ආරම්භ කළ හැක:

  • ඔබේ අතට විවේකයක් ලබා දෙන්න, වේදනාව වැඩි කරන ක්‍රියාකාරකම් වලින් වළකින්න.
  • වේදනාව දැනුණු වහාම අයිස් (Ice) මගින් විනාඩි 10-15 ක් පමණ තැවීම සිදු කරන්න. දිනකට කිහිප වතාවක් මෙය සිදු කරන්න. අයිස් සෘජුවම සම මත නොතබා තුනී රෙදි කැබැල්ලක් භාවිතා කිරීමට වගබලා ගන්න.
  • අතින් යමක් තදින් ඇල්ලීමට හෝ කරකැවීමට අවශ්‍ය වූ විට විශේෂිත බ්‍රේස් (Counterforce brace) එකක් භාවිතා කරන්න. මෙය වැලමිටට මදක් පහළින් අත වටා පළඳින පටියක් වන අතර එමගින් කණ්ඩරා මත ඇතිවන පීඩනය අඩු කරයි.

වේදනාව අඩු වූ පසු, කණ්ඩරා ශක්තිමත් කිරීමට සහ ඒවායේ ඇදෙන සුළු බව වැඩි කිරීමට අවශ්‍ය පුනරුත්ථාපන ව්‍යායාම වෛද්‍යවරයා හෝ භෞතචිකිත්සකවරයා විසින් ඔබට කියා දෙනු ඇත. මෙම ව්‍යායාම නිවසේදී කිරීමෙන් ඉක්මන් සුවය ලබාගත හැක.

සුවය ලැබූ පසු නැවතත් ඔබේ වැඩකටයුතු ආරම්භ කළ හැකි නමුත් ආරම්භයේදී ඉතා ප්‍රවේශම් විය යුතුය. නැවත හානි සිදුවීම වළක්වා ගැනීමට:

  • ඔබ කරන ක්‍රියාවෙහි නිරත වන නිවැරදි ක්‍රමය ඉගෙන ගන්න. ඔබ භාවිතා කරන උපකරණ ඔබේ ශක්තියට සහ ප්‍රමාණයට ගැලපෙන ඒවා විය යුතුය.
  • ව්‍යායාම කිරීමට පෙර සැමවිටම ශරීරය උණුසුම් කිරීමට (Warm up) කාලය ගන්න.
  • වැඩ අවසන් වූ පසු වේදනාව හෝ ඉදිමීම වැළැක්වීමට අයිස් මගින් තැවීම සිදු කරන්න.

ප්‍රතිකාර වලදී ඉවසිලිවන්ත වීම වැදගත්ය. සති කිහිපයකින් ඔබට සුවයක් දැනිය හැකි වුවද කණ්ඩරා සම්පූර්ණයෙන්ම සුව වීමට මාස 6 සිට 12 දක්වා කාලයක් ගත විය හැක. නිවසේදී කරන ප්‍රතිකාර වලින් සති 6-8 කට පසුවත් ගුණයක් නොලැබේ නම්, කෙටි කාලීන සහනයක් සඳහා වෛද්‍යවරයා විසින් කෝටිකොස්ටෙරොයිඩ් (Corticosteroid) එන්නතක් නිර්දේශ කළ හැක. ටෙනිස් එල්බෝ තත්ත්වය සඳහා සැත්කම් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකිනි.

< පෙරබාහුවෙහි අස්ථි බිඳීම කේන්බොක්ස් රෝගය >